ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කර තිබෙනවා.

බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණී දිසා­නා­යක මහතා පැවැ­සුවේ අධි­ක­ර­ණ­යෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා අඛ­ණ්ඩව ලබා­දිය යුතු වෛද්‍ය ප්‍රති­කාර සඳහා බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ බවයි.

ලොහාන් රත්වත්තේ මහතා අග්න්‍යාශ ප්‍රදාහය(Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණ­නා­ව­කින් පෙ‍ළෙන බව බන්ධ­නා­ගාර රෝහල් ආරංචි මාර්ග සද­හන් කරනවා.

එබැ­වින් ඔහු අඛ­ණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනු­වෙන් බන්ධ­නා­ගාර රෝහ­ලට ඔහුව යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය 31 වෙනි දින පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් නොවැම්බර් 7 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.