රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබාගන්න අඹුසැමි යුවළක් ගල් ගසා මරා දමලා

රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබාගන්න අඹුසැමි යුවළක් ගල් ගසා මරා දමලා

යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ  (31) අත් අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ලද තොරතුරු වලට අනුව තවත් පුද්ගලයෙකු මෙම ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැකකරු දැනට අත්අඩංගුවට පත්ව සිටින දෙදෙනා අතර සිටින බව පේදුරුතුඩුව පොලීසිය විසින් හෙළි කරගෙන ඇත.

මරා දමන ලද අඹුසැමි යුවල පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබා ගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය ඉවත් වෙන නිසා ලබන වසරේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහු වෙත ලබා ගැනීමේ යටි අරමුණෙන් මේ දෙදෙනා ඝාතනය කළ බවට ප්‍රධාන සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇත.

ඔහුට හිතවත් අනෙක් දෙදෙනා එම  ඝාතනයන් දෙක සිදු කිරීම පිණිස අත් උදව් ලබා දී තිබේ. මෙම ප්‍රධාන ඝාතකයාට එරෙහිව මීට පෙර මිනී මැරුම් චෝදනාවක් හා මවට පහර දී මරා දැමීමට සූදානම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩු දෙකක්ද ඇති අයෙකි.

යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් නැමති අය හා ඔහුගේ බිරිද වන 51 හැවිරිදි මේරී රීටා නැමති දෙදෙනාව ඝාතනය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට පහර දීමෙනි.

රෝහලේ රෙදි සේදීමට අදාල පුද්ගලයා නොපැමිණි අවස්ථාවේදී ඔහු වෙත ලබා දුන් දුරකතන ඇමතුම් වලට පිලිතුරු  නොදීම නිසා රෝහල් සේවකයෙකු රෙදි සෝදන්නාගේ නිවසට පැමිණ බලන විට අඹු සැමි යුවල නිදි පැදුරේම මරා දමා සිටිනු දැක තිබේ.

මෙම තොරතුරු  රෝහලට ලැබුණු පසුව රෝහල් බලධාරීන් පේදුරුතුඩුව පොලීසිය දැණුවත් කර තිබිණි. ඉන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි.

මරණ දෙක සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව මළ සිරුරු දෙක අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දී ඇති අතර දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන තිබේ.