දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට ගොස් යළි කැඳවූ 16 දෙනාගේ ලැයිස්තුව

දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට ගොස් යළි කැඳවූ 16 දෙනාගේ ලැයිස්තුව

ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රට වලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.

මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට ද රජය සැලසුම් කර තිබේ.

මෙම නිලධාරීන් අතුරෙන් ඇතැම් අය තානාපති සේවය සඳහා අවම සුදුසුකම්වත් සපුරා නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ පවසයි

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහත්වරු මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති.

එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ් මවුලානා මහතා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති ලෙස සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහත්වරුන් ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ මහතාට ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර මහතා ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා මහත්මිය ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් මහත්ම මහත්මීන් ද යළි කැඳවා ඇත.

ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම මහත්මිය සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙම කැඳවීම්වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ වෘත්තීයමය අවශ්‍යතාවය අනුව තරඟ විභාගයක් සිදුකරමින්, එම විභාගය අනුව විදේශ සේවා විභාගය සමත් දැනට විදේශ අමාත්‍යාංශය තුල සිටින හා විදේශ දූත මණ්ඩල සේවාවේ සිටින නිලධාරීන් මගින් රටේ විදේශ සේවා සම්බන්ධීකරණය කිරීම සහ නියමිත ආකාරයෙන් ඉදිරියට පවත්වා ගෙන යාමට මෙන්ම ජාත්‍යන්තර සබඳතා වඩාත් විශ්වාසනීය හා වෘත්තීයමය බව ඇති කිරීමයි.

රාජදූත සේවය හෙවත් තානාපති සේවය යනු යම් රටක ජනයාගේ ස්වරූපය පිටස්තර රටවලට පෙන්වන කැඩපතක් වැන්නකි. රටේ ප්‍රෞඪත්වය උරුමය ලෝකයට පෙන්වාදෙන තානාපතිවරයා එරට වෙළෙඳ දූතයෙකු ලෙසද සේවය කරයි.

බොහෝ රටවල් රාජදූත සේවයට පත් කර එවන්නේ ස්ථිර විදේශ සේවයේ නිලධාරීන්ය. එහෙත් ශ්‍රී ලංකාව රාජ දූත සේවයට බඳවාගෙන එතෙර පටවන බොහෝ දෙනා සුවබර දිවියක් ගතකිරීම සඳහා පමණක් එම සේවයට බඳවා ගත් අයය.

ඔවුන්ගෙන් රටට අත්වන කිසිම සේවයක් නොමැත.

විදේශ සේවා විභාගය සමත්වීමෙන් තොරව විදේශ දූත මණ්ඩල සඳහා දේශපාලකයන් තම හිතවතුන් සහ ඥාතීන් පත් කරන්නේ බොහෝවිට අමාත්‍ය උපදේශක සහ පරිවාර නිලධාරි තනතුරු සඳහාය.

ඒ සඳහා විදේශ සේවයේ තනතුරු සඳහා සම්මත විභාග සමත්වීම අනවශ්‍යය. ලිපිකරු තනතුරු සහ අනෙකුත් අවශේෂ තනතුරු රාජ්‍ය කළමනාකාර සහකාර (ලිපිකාර සේවයේ) සේවයේ සාමාජිකයන් අතරින් පවත්වනු ලබන තරග විභාගයකින් තෝරාපත් කර ගත යුතුය.

2007 වර්ෂයේදී ප්‍රසිද්ධ දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා පැවැත්වූ තරග විභාගයකින් ලිපිකරුවන් 50ක් පත්කරගෙන ඇත.

එහෙත් ඒ හා සමානම සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් විදේශ තානාපති කාර්යාලවල සේවයට යවා ඇත.

දේශපාලන හිතවතුන් යවන්නේ කැබිනට් අනුමැතියෙනි. විදේශ සේවයට පත්වීම් දෙන හොර පාර මෙයයි. කැබිනට් තීරණ සියල්ල රහසිගතවන අතර සාමාන්‍ය ජනතාවට එම තීන්දු දැනගත හැකි ක්‍රමවේදයක් නොමැත.

විදේශ අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා මගින් මෙම ලැයිස්තු කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යැවෙයි.

විදේශ සේවා තරඟ විභාගයෙන් සමත් 20දෙනෙකු බඳවා ගැනීමට විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන විසින් තවමත් කටයුතු කර නැති අතර ඇය තමන්ගේ හයිය පෙන්නමින් මෙම විභාගයෙන් සමත් අය බඳවා ගැනීම මඟ හරිමින් සිටීම හේතුවෙන් එම සිසුන්ට උපරිමාධිකරණයේ පිහිට පැතීමට සිදුව බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ඉතාමත් අපහසුවෙන් විභාගය සමත් වූ මෙම 20 දෙනාහට දැඩි අසාධාරණයක් සිදු කිරීමට මෙම ලේකම්වරිය කටයුතු කර ඇත,අඩුම තරමින් දුරකථන ඇමතුමක් මඟින් හෝ මේ සම්බන්ධයෙන් තොරතුරක් හෝ දැනගැනීමට මෙම අයට අවස්ථාවක් ලබා දී නොමැත.

යම් විමසීමක් හෝ සිදු කර ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්නා විට ලේකම්තුමියටත් වඩා තර්ජනය කරන මැක්ස්වල් කීගල් නැමැති හොර සහතික ලබා දී උසස්වීම් ලබා ගෙන පසුව හොර වැඩ සිටින පුද්ගලයෙකු විභාගය සමත් අයගේ දුරකථන ඇමතුම් වලට ඉතා පහත් ලෙස පිළිතුරු ලබා දෙන බව වාර්තා වේ.

එමෙන්ම පැවසීමට ඇති තවත් කරුණක් නම් දේශපාලන පත්වීම් ලබා නොමැති ඇතැම් වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද කිසිදු සේවාවක් නොකරමින් ලොව පුරා සෑම තානාපති කාර්යාලයක් තුළම සේවය කරන බවත්, ඔවුන් විසින් කිසිදු රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයක් නොකර රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයක් කරන බවට මුළු රටම රවටමින් තම දරුවන්ගේ අධ්‍යාපනය සහ වාසි පමණක් ලබා ගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බවටත් වාර්තා වේ.

මේ නිසා දේශපාලන පත්වීමක්ද නැත්නම් වෘත්තීයමය පත්වීමක් ද යන්න නොබලා දක්ෂ නිලධාරීන් පත් කොට යැවීමත් සෑම මසකට සැරයක් තානාපති කාර්යාලයක්‌ හෝ මහකොමසාරිස් කාර්යාලයක රාජකාරී ගැන සවිස්තරාත්මක ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට රජය පියවර ගන්නේ නම් එය වඩාත් යෝග්‍ය කරුණකි.

එමගින් වැඩක් නොකරන ඔය වෘත්තීයමය යයි කියා ගන්නා රාජ්‍යතාන්ත්‍රික යැයි පවසා අකටයුතුකම් කරන නිලධාරීන් නැවත ලංකාවට ගෙන්වා පැත්තකට කර තැබීම වටිනා බවත්, එසේ නොමැතිව සැප විඳීමට තානාපති කාර්යාල සංචාරක ස්ථානයක් බවට පත් නොකර සිටීම මෙම ජනතාවාදී ආණ්ඩුව අවබෝධ කරගත යුතු බවත් බොහෝ දෙනාගේ මතය තිබේ.