ජොන්ස්ටන්ගේ වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් නියම කරයි

ජොන්ස්ටන්ගේ වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් නියම කරයි

අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පසුගිය 23 වනදා පෙනී නොසිටීම හේතු කොටගෙන වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව, ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් තිබූ බවයි.

BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටි බවත් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 23 වන දින සිට 30 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවද ඔහු අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

එහිදී සිය නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ අභියාවනාධිකරණයේ නිශ්චිත නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවකදී විත්තාකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රථමයෙන් කළ යුතුව තිබුණේ මෙම අධිකරණයේ පැවැති නඩු කටයුතු වෙනුවෙන් පෙනීසිටීම බවයි.

එබැවින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවට පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා විසින් ජොන්සටන් ප්‍රනාන්දුට අමතර ඇපයක් නියම කරන බවට නියෝග කළේය.

එමෙන්ම, මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 27 වනදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේය.