බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් බෝගොල්ලාගමගේ නිල නිවසට බ්‍රිතාන්‍ය පොලිසිය කඩා පනී!

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් බෝගොල්ලාගමගේ නිල නිවසට බ්‍රිතාන්‍ය පොලිසිය කඩා පනී!

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිල නිවසේ සේවයට ගිය තරුණයකුට නිවැසියන් විසින් හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එම නිල නිවසේ සූපවේදියෙකු ලෙස කටයුතු කර ඇති අදාළ තරුණයා සිය මිතුරෙකුගේ මාර්ගයෙන් බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසිය දැනුවත් කර ඇති අතර නිවස තුළ සිටි අයෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය නිවසට පැමිණ සොයා බලා තිබේ.

කෙසේවෙතත්, මහකොමසාරිස්වරයාට ලැබී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හේතුවෙන් අදාල සිද්ධිය පරීක්ෂා කර බැලීම සදහා බ්‍රිතාන්‍ය පොලිසිය ඒ මොහොතේ එම නිවසට ඇතුළු වී නැත.

එහෙත්, මේ සම්බන්ධයෙන් අදාළ වින්දිත පුද්ගලයාගේ පාර්ශ්වය වෙනුවෙන් පොලිසියට පැමිණිලි කළ පුද්ගලයාට පොලිසිය උපදෙස් දී ඇත්තේ, මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හා පොලිසියට දන්වන ලෙසයි.

මෙම වින්දිත තරුණයා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රකට හෝටලයක සේවය කළ තැනැත්තෙකි.

මේ වන විට අදාළ තරුණයා හදිසි ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් දිවයිනට එවා ඇති බව වාර්තා වේ.

මොහුට පෙර ද බ්‍රිතාන්‍ය තානාපති නිල නිවසේ සේවයට ගිය ඉහත කී හෝටලයේම ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කළ පුද්ගලයා බෝගොල්ලාගම පවුලෙන් ඇති වූ මරණ තර්ජන සහ විවිධ හිංසන හේතුවෙන් නිවසින් පැන ගොස් බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා සිටි බවද වාර්තා වේ.