රාජ්‍ය සේවක වැටුප් වහාම වැඩි කරන්න – බැරිනම් මං ඒකට වෙන් කළ මුදල් වලට මොකද උනේ කියන්න !
මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමා ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට සැලසුම් කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා අදාල පඩි වැඩිවීම දෙන්නට බැරි නම් ඊට වෙන් කෙරුණු මුදල් කොහිදැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ ඊයේ (23)පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
කොළඹ මල් පාරේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
අප රජය විසින් රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ නීත්‍යානුකූල භාවය ගැන මා කරුණු පැහැදිලි කරන්නට මා සිතුවා.රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප ගනු ලැබූ කැබිනට් තීරණය ගැන පැහැදිලි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 43 වගන්තිය යටතේ එම කාර්ය කර තිබෙනවා.
අප එම වේතන වැඩිවීම සිදු කළේ සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.
එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණයි. 2022 වසර වන විට ජනතාවගේ වේතන වල වටිනාකම සියයට පනහකින් අඩු වුණා. ඔවුන් ජිවත් වුණේ අමාරුවෙන්.
අදාළ වේතන වැඩි කිරීම සඳහා හැකියාව තිබේදැයි මා භාණ්ඩාගාර ලේකම්ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එතරම් මුදලක් ලබාදීමට නොහැකි බවයි. අපගේ අයවැයට මෙතරම් මුදලක් දරාගන්නට නොහැකි වනු ඇතැයි ද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන්නා. ඒ කාරණය උදය සෙනෙවිරත්න ට දැනුම් දෙන ලෙස මා පැවසුවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කොට අදාළ පඩි වැඩිවීම කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙසත් මා පැවසුවා.
ඒ පිළිබඳව සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එකවර නොදී එක වසරකදී සියයට පනහක් ලබාදී අනෙක් වසරේදී ඉතිරි පනහ ද ලබාදීමට හැකියාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා.
ඒ අවස්ථාවේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒකනායක සමග පළමුවෙන් සාකච්ඡා කළා. එමෙන්ම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සමගත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සමගත් මා සාකච්ඡා කළා. අවසානයේදී අප මෙලෙස පඩි වැඩිවීම ලබාදීමට එකඟතාවට පැමිණියා.
අපි එකඟ වූ අයුරින් පඩි වැඩිවීම කළත් මුදලේ වටිනාකම අඩුවීමේ අවාසිය පියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ තීරණය නිසා යම් සැලකිය යුතු පමණකට අස්වැසිල්ලක් ලැබෙන බව අප දැනගෙන සිටියා.
ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව මා ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාවට මා අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියටයි. ඒ අනුව මෙම තීරණයට භාණ්ඩාගාරයේ අදහස් වුවමනා වන්නේ නැහැ.
මා මේ පඩි වැඩිවීම ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ලෙසයි. ජනාධිපතිවරයා ලෙස අදාළ පත්‍රිකාවට අත්සන් කරන විට නැවත මුදල් අමාත්‍යාංශය ලෙස ලිපි ශීර්ෂ ඉදිරිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරයා ලෙස අත්සන් කිරීම නීත්‍යානුකූලයි. අදාළ වේතන වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. මුදල් නැතැයි කියනවා නම් ඒක පුදුම කතාවක්. දැන් රාජ්‍ය සේවකයන් මේ සටන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා’’යැයිද හිටපු ජනාධිපතිවරයා පැවසීය.