උදයරාසාගේ නාමයෝජනාව භාරගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝග
මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා.
ඒ අනුව නාම යෝජනා පත්‍රය අනුමත කරමින් කටයුතු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටියේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.
එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටු වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.