ආරුගම්බේ ආරක්ෂාව තර කරයි

ආරුගම්බේ ආරක්ෂාව තර කරයි

ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කළ දැනුම් දීම මත ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව, ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ යවා ඇති බව ද වාර්තා වෙයි.

ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් කර තිබුණි.

සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම්දී තිබුණේ, යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසටය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, එවැනි තොරතුරක් ලැබීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර ඇති බවයි.

“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”