ගිනි අවි 6ක් සමග 6 දෙනෙකු STF අත්අඩංගුවට

ගිනි අවි 6ක් සමග 6 දෙනෙකු STF අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 28, 29, 34, 39 හා 47 පසුවන සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 6 දෙනකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් ගිනි අවි මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු බවත් කිසියම් අපරාධයක් සදහා මෙම ගිනි අවි තබා ගන්නට ඇතැයි විශේෂ කාර්ය බළකාය නිලධාරීහු සැක පළකරති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.