ශ්‍රී ලංකා – කොදෙව් අවසන් T 20 තරඟය අද

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් T 20 තරඟය අද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (17 වැනිදා) රංගිරි දඹුලු ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ පළමු තරගය සිය ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ නමුත් ශ්‍රී ලංකාව දෙවැනි තරගය දඟ පන්දුවේ සහායෙන් ජයගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගාවලි ජය වාර්තා කිරීමට අවස්ථාව උදා වී තිබේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා විස්සයි විස්ස තරගාවලි 3ක් පවත්වා ඇති අතර ඉන් එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්වද්දී ඉතිරි තරගාවලි දෙකෙහිම ජය කොදෙව්වන් සතු විය.

මේ අතර පෙරේදා (15 වැනිදා) පැවැති දෙවැනි තරගයේ පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක් වූ කොදෙව් උපනායක රොස්ටන් චේස් සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය පරාජයෙන් අනතුරුව එම තණතීරුව නැවත ලබාදීමට බිය වී දෙවැනි තරගය සඳහා සත්කාරක කණ්ඩායම වීමේ වාසිය භාවිතා කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සඳහන් කළේ පළමු තරගය ක්‍රීඩා කළ තණතීරුවම දෙවැනි තරගය සඳහා භාවිතා කර තිබියදී සිදු වූ එම වෙනසට හේතුව කාලගුණය බවයි.

පළමු තරගයට පෙර වර්ෂාව පැවැති අතර ඒ හේතුවෙන් තණතීරුව වසා තැබුණු බවත්, පළමු තරගයෙන් පසු වර්ෂාව නොමැති වීම හේතුවෙන් තණතීරුව වියළීමට ලක්වීම නිසාවෙන් දඟ පන්දු යවන්නන්ට හිතකර වූ බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම 2026 විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බැවින් මෙම තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට සිදු විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

අද තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල නොවනු ඇති බවට කාලගුණ වාර්තා අනුව කියැවෙන අතර ඊයේ (16 වැනිදා) දිනයේද ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට වැසි රහිත තත්ත්වයක් පැවතුණි.

මේ හේතුවෙන් අද තරගයද දඟ පන්දු යවන්නන්ට වඩාත් හිතකර වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. එම නිසා දඟ පන්දු යවන්නන් සඳහා වැඩි බරක් සහිත දෙවැනි තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමම අද තරගය සඳහාද ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතී.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද සිය දඟ පන්දු අංශය ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායමේ වෙනස්කමක් කරනු ඇති අතර බොහෝ දුරට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ෆේබියන් ඇලන් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇත.

අද තරගයද රාත්‍රි තරගයක් ලෙස පස්වරු 7ට ආරම්භ කිරීමට නියමිතය.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

චරිත් අසලංක

භානුක රාජපක්ෂ

වනිඳු හසරංග

දුනිත් වෙල්ලාලගේ

මහීෂ් තීක්ශන

මතීෂ පතිරණ

නුවන් තුෂාර