පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දැමූ ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර හමුවෙයි

පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දැමූ ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර හමුවෙයි

මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර ඝාතනය කර තිබූ හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබේ.

පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී දින දහසයකට පසුව අද (16) පස්වරුවේ මළසිරුර සොයාගත් බවයි, මඩොල්සිම පොලිසිය පැවසුවේ.

වැල්ලවාය කුඩා ඔය යුදහමුදා කොමාන්ඩෝ කදවුරේ නිලධාරීන් පිරිසක් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ පහළට බැස මළසිරුර සෙවීමේ කටයුතු වල නිරත වූ අතර එහිදී ප්‍රපාතයේ වැටී තිබියදී හමුවූ මළසිරුර පොහොර බෑගයක දමා කඹ ආධාරයෙන් මහත් වෙහෙසක් දරා අද පස්වරු 2 ට පමණ පුංචි ලෝකාන්තයෙන් උඩට ගත් බවද පොලිසිය පැවසීය.

මළසිරුර සොයා ගන්නා විටත් එය බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු අතර සිරුරේ යටිකයට කලිසමක් ඇද සිටි බවත්, සිරුරේ ඉනෙන් ඉහල කොටස මුහුණ හිස විනාශ වී ඇටකටු මතු වී තිබිණැයි පොලිසිය සඳහන් කළේය.

හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක ත්‍රීරෝද රථ රියදුරෙකු මෙසේ ඝාතනයට ලක්වී තිබේ.

මොහු මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු ගෙන් ත්‍රීරෝද රථයක් මිලදී ගෙන ඇති අතර එම පුද්ගලයා මොහුට මැණික් ගල් සහ රන්භාණ්ඩ වගයක් විකිණීමට යාමට ඇති බව පවසමින් ඉකුත් (30) වන දා රාත්‍රියේ මෙම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රීරෝද රථය සමඟ මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇත.

එහිදී තවත් අයෙක් සමඟ එකතු වී මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල මාර්ගයේ කැලෑවක සඟවා තිබෙන මැණික් ගල් සහ රන්භාණ්ඩ ගැනීමට යන බව පවසමින් ත්‍රීරෝද රථ රියදුරු අලුයම රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

අනතුරුව එම ප්‍රධාන සැකකරු ඔහුගෙන් මිලට ගත් ත්‍රීරෝද රථය යලි ඉල්ලා ඇති බවත් එහිදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ මොවුන් දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුට අතින් පයින් යකඩ ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

දින කීපයක් ගියද සිය පුතා නිවසට නොපැමිණි හෙයින් පියා මේ සම්බන්ධයෙන් හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව, පරීක්ෂණ කටයුතු සිදුකළ හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී දැනට මඩොල්සිම බටාවත්තේ සිටින 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගෙන් හෙලිකරගත් තොරතුරු මත සෙසු සැකකරු වන මඩොල්සිම බටාවත්තේ පදිංචි 24 හැවිරිදි රථ වාහන බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන සැකකරු අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලිසිය සමත් වී තිබේ.

එම තොරතුරු මත ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ ත්‍රීරෝද රථය සැකකරුවන් බදුල්ල නගරයේ පෞද්ගලික මූල්‍ය සමාගමකට විකුණා තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි පී එම් ජයරත්න සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී .දිසානායක, හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක, පොලිස් පරික්ෂක ගීත් රත්නායක පොලිස් සැරයන් 1477 ජයසිංහ 54167 ලාල් , 74407 ඒකනායක, 19803 රත්නායක යන මහත්වරුන් ඇතුලු හාලිඇල, මඩොල්සිම පොලිස් නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.