“ආණ්ඩුව පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් දෙන තෙක් මගේ ළග තියෙන වාර්තාව දෙන්නේ නෑ”

“ආණ්ඩුව පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් දෙන තෙක් මගේ ළග තියෙන වාර්තාව දෙන්නේ නෑ”

තමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“විජිත හේරත් ඇමතිතුමා මේ වාර්තාව මට භාර දෙන්න කියලා කිව්වට මේ වාර්තාව මම භාර දුන් පසු මේ වාර්තාව ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නෑ.

මා සතුව තිබෙන වාර්තාවත් ආණ්ඩුවට දුන්නට පස්සේ ආණ්ඩුව මේ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටියොත් මොකක්ද අපි කරන්නේ ?

මේ වාර්තා දෙක ලැබුණු වහාම ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිතුමා හෝ ජනාධිපතිතුමා විසින් ප්‍රතිඥාවක් දෙනතුරු කිසිම හේතුවක් මත මා සතු වාර්තාව ආණ්ඩුව භාර දෙන්න මම සූදානම් නෑ.

අපි විජිත හේරත් ඇමතිතුමාට කියන්න ඕනී මෙය බරපතල අපරාධයක් කියලා අපිව බියපත් කරලා මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන්න බෑ.

ගරු ඇමතිතුමනි යකාට භය නැති නිසා තමයි අපි සොහොනේ ගෙවල් හදාගෙන ඉන්නේ.”