පුද්ගල ඝාතන සිද්ධියකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පුද්ගල ඝාතන සිද්ධියකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ජාඇල, ඒකල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු ජාඇල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 33, 45, 48 සහ 65 වයස්වල පසු වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදිකරු සමග ඇති වූ බහින්බස්වීමකදී යතුරුපැදිකරුට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහිදී එම ගල් ප්‍රහාරය අසල තිබූ වෙළඳ සැලකට වැදීම හේතුවෙන් වෙළඳසැලේ හිමිකරු සහ පිරිසක් පැමිණ එම පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන තිබුණි.

එහිදී ඇතිවුණු බහින්බස්වීමකදී වෙළඳසැල් හිමිකරු සමග සිටි පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ බෙල්ල ප්‍රදේශයට එල්ල කළ මන්න පහරකින් එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබුණි.

එසේ මියගොස් තිබුණේ, ගම්පහ ඒකල පාර ප්‍රදේශයේ පදිංචි නුවන් කුමාර නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.