නුවරඑළිය තැපෑල රකින්න කටයුතු කළ සැමට ස්තූතියි

නුවරඑළිය තැපෑල රකින්න කටයුතු කළ සැමට ස්තූතියි

පසුගිය රජය සමයේ ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය ඓතිහාසික තැපැල් කන්තෝරුව පිටරට සමාගමට විකුණා දැමීමේ තීරණයට විරුද්ධ වී නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවට රැක ගැනීම වෙනුවෙන් සහයෝගය දුන් රාජ්‍ය නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සේවක මණ්ඩලය ඇතුළු පොදු ජනතාවට මාධ්‍යයට ස්තුතියි ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවක් (15) දින නුවරඑළිය තැපැල් කාර්යාලදී පැවැත්විණ.

මෙම මාධ්‍ය හමුව නුවරඑළිය ජාතික ජන බලවේගයේ  තැපැල් වෘත්තීය සේවා සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයට අනුබද්ධිත වෘත්තීය සමිති රැසක  නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ තැපැල් සේවක සංගමය අනුශාසක පූජය දඹගොල්ලේ සෝමානන්ද හිමි, නුවරඑළියේ අයිතීන් සුරකීමේ සංවිධානයේ කැදවුම්කරු නිලාන්ද සොයිසා, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛා ලේකම් අජන්තා හිටිහාමු, සමස්ත ලංකා විදුලි පණිවිඩ සේවක සංගමයේ නුවරඑළිය ශාඛා ලේකම් එම්.ජී.උපාලී ඥානසේකර යන මහත්ම මහත්මීන් පිළිවෙලින් අදහස් දැක්විය.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ ඓතිහාසික වටිනාකමකින් සමන්විත නුවරඑළිය තැපැල් කාර්යාලය පිටරට සමාගමකට අලෙවි කිරීමට ගත් තීරයේ තරයේ හෙලා දකින බවත් එම තීරණය අත්හිටුවීම පිළිබඳව වත්මන් රජයට ස්තුතිය ප්‍රකාශ කරන බවයි.

නුවරඑළිය තැපැල්කාර්යාලය කියන්නේ නුවරඑළිය සළකුණ දෙස් විදෙස් සංචාරකයන් රාශියක් මෙම නුවරඑළිය නගරයේ සංචාරය කරන්න එනකොට ඔවුන් ගමන් කරන මුල්ම තැන තමයි මේ ඓතිහාසික තැපැල් කාර්යාලය.

විකුණන්නට හෝ බද්දට දීමට රජයේ වැඩ කර නැති ආයතන කොච්චර තියෙනවද ඒ හැමදේම අමතක කරලා මේ  සුන්දර තැපැල් කාර්යාලය අලෙවි කිරීමට ගත් තීරණය සැබවින්ම අමනෝඥ තීරණයක්.

2024 වර්ෂයේ තැපැල් දිනයට සහභාගි වෙමින් වර්තමාන තැපැල් විෂය භාර අමාත්‍යතුමන් විජිත හේරත් මහතා පසුගිය රජයෙන් ගත් තීරණ සියල්ල බල රහිත කරමින් එම තීරණ සියල්ල අත්හිටුවන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම තුළින් වසරකට අධික කාලයක් සිදුකළ අපගේ අරගලය සාර්ථක වුණා.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ තැපැල් දෙපාර්තමේන්තුවට රැක ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සහයෝගය ලබාදුන් රජයේ උසස් නිලධාරීන් , තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නිලධාරීන් ඇතුළු සියලුම සේවක මණ්ඩලය මහත්ම මහත්මීන් , සාමාන්‍ය පොදු ජනතාව නීතිඥවරුන් ඇතුළු සියලුම රාජ්‍ය හා පෞද්ගලික නිලධාරීන්ට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

මේ සැබවින්ම ජනතාවගේ ජයග්‍රහණයක්.

වත්මන් ආණ්ඩුවට නුවරඑළිය ජනතාව වෙනුවෙන් හා සමස්ත රටවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරන බවත් ඔවුන් පැවසීය.