ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි

එළඹෙන සඳුදා සිට නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මේ වන විට රට තුළ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳ ගැටලුවක් තිබෙන බවත්, ඒ අනුව ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය එළැඹෙන සෙනසුරාදා දිනයේ දී මෙරටට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊ-පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් තිබෙන බැවින් ඊට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත්, උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව පැවසුවේය.

මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වන දා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.