තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට

තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් චීන ජාතිකයන් 18 දෙනකු ඊයේ (13) මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතරින් 16 දෙනකු සතුවම වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොතිබූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින අතර, මොවුන් ද පරිගණක මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

මේ අතර සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමින් රුපියල් බිලියන ගණනින් අන්තර්ජාල මූල්‍ය වංචා සිදු කළ චීන ජාතිකයන් 130 දෙනකු මහනුවර පොලිසිය විසින් පෙරේදා (12) කුණ්ඩසාල ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, ඔවුන් සහ ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර යම් සබඳතාවක් පවතීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.