ශානි අබේසේකර යළි සේවයට

ශානි අබේසේකර යළි සේවයට

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යළි සේවයේ පිහිටුවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

අද (10) පස්වරුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් මෙම තීරණයට අනුමැතිය හිමිව තිබෙනවා.

මැතිවරණ කොමිසම ද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අද දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මකයි.

ඒ අනුව ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් පදනම යටතේ වසරක කාලයක් සඳහා අදාළ ධුරයට පත් කරනු ඇති.

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ශානි අබේසේකර යනු මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි හිටපු අධ්‍යක්ෂවරයෙකු ද වනවා.

ඔහු සිය සේවා කාලය තුළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සහ ලසන්ත වික්‍රමතුංගට පහර දී ඝාතනය කිරීම වැනි මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයා ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය රාජ්‍ය පාලන සමයේ දී ශානි අබේසේකර මහතාට විවිධ වෘත්තීමය චෝදනා එල්ල වූ අතර ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයින් සමග සිදු කෙරුණා යැයි සැලකෙන දූරකථන සංවාද ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට එවක පාලනාධිකාරිය විසින් චෝදනා රැසක් ද එල්ල කෙරුණා.

පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩුදුන් බරපතළ ගණයේ සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකර මහතා යි.