ආරක්ෂක ඇමතිගෙන් පොලිස් ප්‍රධානීන්ට උපදෙසක්

ආරක්ෂක ඇමතිගෙන් පොලිස් ප්‍රධානීන්ට උපදෙසක්

මැතිවරණ දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදා එය පටන්ගත් තැනම මැඩපවත්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

ස්වාධීන හා නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, දෛනික ජන ජීවිත අඩාල නොවන පරිදි රට තුළ සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

මේ අතර, මැතිවරණ දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදා එය පටන්ගත් තැනම මැඩපවත්වීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසයි.

මේ අතර, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 80,000කට අධික පිරිසක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.