අනුර, සජිත් සහ රනිල්ගේ ප්‍රතිපත්ති සංසන්දනය කළ හැකි ඩිජිටල් මෙවලමක්

අනුර, සජිත් සහ රනිල්ගේ ප්‍රතිපත්ති සංසන්දනය කළ හැකි ඩිජිටල් මෙවලමක්

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්‍ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන හා පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට ‘2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දකය’ නමින් ඩිජිටල් මෙවලමක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් එළිදක්වා තිබේ.

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම ඇති මෙම ඩිජිටල් මෙවලම වෙත https://manthri.lk/en/presidential-election-manifesto-2024 යන සබැඳිය ඔස්සේ මහ ජනතාවට පිවිසීමට අවස්ථාව ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රනිල්, සජිත් සහ අනුර ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් වලින් ලබා දී ඇති පොරොන්දු මෙම ඩිජිටල් මෙවලම තුළ සංසන්දනය හා ඇගයීම සිදුකරන බවත් එම අපේක්ෂකයන් ජනතාවට ලබා දුන් පොරොන්දු 1,500ක් පමණ එම සංසන්දනාත්මක විග්‍රහය සහිත ඩිජිටල් මෙවලම වෙත ඇතුළත් කර ඇති බවත් වෙරිටේ ආයතනය දැනුම් දෙයි.

මේ අතර, ඡන්ද පොරොන්දු මෙම ඩිජිටල් මෙවලමට එකතු කිරීමේදී ප්‍රකාශයන් සහ පුරෝකතනයන් හා බැඳුණු පොරොන්දු නොසලකා හැර ඇති බවත් ඒ වෙනුවට ක්‍රියාවක් හා බැඳුණු පොරොන්දු කෙරේ අවධානය යොමු කර ඇති බවත් එම ආයතනය පවසයි.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සංසන්දනයෙන් අපේක්ෂකයන් ලබා දී ඇති පොරොන්දු තේමා 15ක් ඔස්සේ එකිනෙක සසඳා බැලීමට මහ ජනතාවට අවස්ථාව ලැබෙන බව ඔවුහූ පවසති.

මේ අතර, පරිශීලකයන්ට තමන්ගේ ම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව මෙම ඩිජිටල් මෙවලම ඔස්සේ සලසා දී ඇති බවත් එසේ නිර්මාණය කරන ‘මන–කල්පිත’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සමග කොපමණ තරමකට ගැළපේ ද? යන්න සංසන්දනය කළ හැකි බවත් වෙරිටේ ආයතනය වැඩිදුරටත් පවසයි.