හෙල්මටයක් සහ ජැකට්ටුවක් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නවතයි

හෙල්මටයක් සහ ජැකට්ටුවක් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නවතයි

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ, දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ දුම්රිය නියාමකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (18) අලු‍යම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවුණි.

ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්‍යාල සිසුන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ අළුයම 5.00ට අනුරාධපුර සිට මැදවච්චිය දක්වාත්, මැදවච්චිය සිට අනුරාධපුර දක්වාත් ධාවනය වීමට නියමිතව තිබූ රේල් බස්රථය ධාවනය නොවී ඇති අතර උදෑසන 8.20 ට අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අංක 4441 අංක දරණ දුම්රිය ද ධාවනය නොවූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

කාලයක සිට දුම්රිය නියාමකවරුන්ගේ යතුරු පැදි, දුම්රිය වේදිකාවේ නතර කර දමා ඔවුන් සේවයට වාර්තා කර තබුණි.

ඉහළින් ලද නියෝගයකට අනුව මෑතක සිට එම යතුරු පැදි, දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති දුම්රිය කාර්ය මණ්ඩල සඳහා ඉදිකර ඇති යතුරු පැදි ගාලේ නවත්වනු ලබයි.

ඊයේ (17) රාත්‍රී හතයි පහළොවට පමණ අනුරාධපුර ප්‍රධාන දුම්රිය නියාමක පී.කේ.පී.පිරිස් මහතාගේ හිස් වැසුම මෙලෙස නාදුනන අයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.

දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලේ නිසි ආරක්ෂාව නොමැති බව පවසමින් ඊට විරෝධය පල කිරීම සඳහා මෙම නියාමක මහතා ඇතුළු එම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් වී ඇත.