ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට (18) පෙර සමත් වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදීයි.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඊට තරග දෙකක් ඇතුළත්.

2019 වසරින් අනතුරුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි.

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක හමු වූ තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර, එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 6කින් ජය ගත්තේ ය.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු ව අද තරගයට එක්ව සිටින්නේ; ටොම් ලැතම්, ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර, ඩැරිල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ටර්, අජාස් පටෙල් සමගින් විලියම් ඕ’ රෞකි යි.

මෙම තරගාවලිය සඳහා ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති නමුත්, ඔහු අද තරගය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුකර ඇති අතර, අංක තුන පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් අංක 7 පිතිකරු ලෙස තරග කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග 38න් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 18ක් ජය ගෙන තිබෙන්නේ නවසීලන්තයයි.

අනෙක් තරග 11 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.

අද ආරම්භ වන පළමු තරගය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.