පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕනනම් පත්කරගත යුත්තේ මාලිමාව නොවෙයි මාවයි – ජනපති

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕනනම් පත්කරගත යුත්තේ මාලිමාව නොවෙයි මාවයි – ජනපති

වෙනත් පක්ෂයක ආර්ථික ප්‍රතිපත්ති සමග ගියොත් මේ රටට සිදුවන්නේ ආජන්ටිනාවට සිදුවූවාක් සේ බිඳ වැටෙන්නට බවත්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නම් ඊලඟ ජනාධිපතිවරයා ලෙස තමන් පත් කරගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණයින් අමතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී එක තරුණියක විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අප ඔබතුමා මීලඟ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුත්තේ කුමක් නිසාදැයි විමසූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

මම මේ රට භාර ගෙන සාමාන්‍ය ජන ජීවිතයක් මේ වන විට ඇති කර තිබෙනවා.

බඩු මිල වැඩිවීම වැනි ප්‍රශ්න කිහිපයක් තවමත් තිබෙනවා. නමුත් ආර්ථිකයේ ස්ථාවරභාවය තහවුරු කළ යුතුයි. එය තහවුරු නොකළහොත් ආර්ථිකය කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටුණහොත් නැවත එදා තත්ත්වයට පත් වෙනවා.

ඔබේ අනාගතය තීරණය කිරීමට මේ වසර පහ අවශ්‍යයි. ස්ථාවරභාවය තහවුරු කිරීම ප්‍රමාණවත් නැහැ. තහවුරු කිරීමෙන් පමණක් අපි කොහොමද අපට අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ?

අපේ ආනයනවලට ගෙවීමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. අපේ අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. අපනයන ආර්ථිකයට ගියාම තමයි අපනයන ආර්ථියක් හැදෙන්නේ.

එසේ නොමැති නම් තවත් අවුරුදු 15කින් ආර්ජන්ටිනාව වගේ මේ ආකාරයටම ගොඩ එන්න බැරි විදියට, මීට වඩා දරුණු ආකාරයට කඩා වැටෙනවා. මේ අවස්ථාවේ නිවැරදිව ක්‍රියා කළොත් ඒ තත්ත්වය නොවී ඉදිරියට යන්න අපට පුළුවන්.

අනෙක් පක්ෂ කියනවා බදු අඩු කරනවා කියලා. මමත් කැමතියි බදු අඩු කරනවා කියලා කියන්න. නමුත් අපේ ආදායම් මදි නම් කොහොමද බදු අඩු කරන්නේ?

අයි. එම්. එෆ් සංවිධානය කියන්නේ අපේ ආර්ථිකයට තවත් අපේ ණය බර උසුලන්න බැහැ කියලයි. ණය ගැනීම නිසා ආර්ථිකය කඩා වැටෙන්න යනවා.ඒ නිසා ණය ගන්න එපා කිව්වා. නමුත් අපට තව ටික කලක් ණය ගැනීමට සිදු වෙනවා.

අය වැය පරතරය වහන්න ණය ගන්නවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වඩා ගන්නේ නැහැ කියලා අපි එකඟ වුණා.

අපේ අය වැය සකස් කළ යුතු වන්නේ ඒ අනුවයි. ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබිය යුතුයි. එසේ නොකළ හොත් අපට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම බැංකුවලින් ණය ගන්න බැහැ. මුදල් අච්චු ගහන්න බැහැ. රුපියල ශක්තිමත් කිරීමට මේ මාර්ගයේ යා යුතු වෙනවා. අනෙක් අය කියනවා වගේ බදු අඩු කර වියදම් වැඩි කරන්න බැහැ.

2025 අයවැයට අපිට ලබා දී ඇති සීමා අනුවයි අපි ක්‍රියා කරන්නේ. ඒ අනුව 2025ට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 6898ක් වෙනවා. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 5100යි. මේ පරතරයට මොකක්ද කරන්නේ? රුපියල් බිලියන 1700ක පරතරයක් තිබෙනවා. එතන 5% (5.2%) අල්ලනවා. අප සතු ප්‍රාථමික ශේෂයේ අතිරික්තය වන්නේ රුපියල් බිලියන 781යි. එවිට රුපියල ස්ථාවර වෙනවා.

මාලිමාවේ යෝජනා සමඟ ඒ අයවැය හැදුවොත් කොහොමද කියලා බලමු. ඒ අනුව අපේ වියදම ඩොලර් රුපියල් 8900 කට වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 2000කින් වැඩි වෙනවා.

නමුත් ඔවුන් බදු අඩු කරන නිසා ආදායම රුපියල් බිලියන 4900 යි. අපට වඩා රුපියල් බිලියන 2000ක් අඩුයි. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 4000යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9% යි. මේක තමයි වෙනස.