එක්ස්ප්‍රස් පර්ල් කපිතාන්ගේ සහ හාබර් මාස්ටර්ගේ කට උත්තර පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් කපිතාන්ගේ සහ හාබර් මාස්ටර්ගේ කට උත්තර පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම හේතුවෙන් සමුද්‍රයට, වෙරළ තීරයට හා අවට පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් කර තිබෙන සියලුම පරික්ෂණවල වාර්තා, නෞකාවේ කාපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ල වෙත මෙම දැනුම්දීම සිදුකළේය.

එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර සිටියා.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ ධීවර පූජාව, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඒ පෙත්සම් ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල පාරිසරික විනාශයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් විශාල ධීවර ප්‍රජාවක් සිය ජීවනෝපාය අහිමිව අගතියට පත්වූ බවත් ඔවුන්ට සුදුසු වන්දියක් ගෙවන ලෙස වග උත්තර කරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.