පළාත් පාලන මැතිවරණය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (28) පෙරවරුවේ රැස්වීමට නියමිත බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයකට එළඹෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද රැස්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 22 වැනි දා තීරණය කර තිබේ.

එහිදී අධිකරණය පෙන්වා දුන්නේ, මැතිවරණ ක්‍රියාවලිය නිසියාකාරව සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වූ බවයි.

අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට කොමිෂන් සභාව සිය බලතල ක්‍රියාත්මක නොකළ බව ද අධිකරණය පෙන්වා දුන්නේ ය.

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව සෙසු රාජ්‍ය ආයතනවල සහය ලබාගෙන හැකි මුල් අවස්ථාවේදීම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.