ගුවන් තොටේ සැප බස් සේවාව දින 04 කට පසු නවතී

ගුවන් තොටේ සැප බස් සේවාව දින 04 කට පසු නවතී

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 වැනි දින සිට ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව (Air Port Terminal Shuttle Service) අද (19) උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

මෙම බස් රථ සේවාව ආරම්භ කළ සැණින් ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි, අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබීම මීට හේතුවක් බව ද වාර්තා වී තිබේ.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගෙන ඇත.

එසේ නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කරවීමට නියමිත බව ගුවන් තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.