අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව ගැන සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව ගැන සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

නව සුරාබදු බලපත්‍ර 200ක් ලබාදීමට යන බවට මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය.

මැතිවරණය ඉලක්ක කරගෙන හෝ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නව සුරාබදු බලපත්‍ර ලබාදීමට තීරණයක් නොගත් බවත්, 2024 ජනවාරි සිට මේ දක්වා නව සුරාබදු බලපත්‍ර 80ක් පමණ ලබාදී ඇති බවත් ඒ මහතා පැවැසීය.

මේ වනවිට මුදල් අච්චු ගැසීම, ණය ගැනීම වැනි දේවල් මගින් රජයට ආදායම් ලබාගත නොහැකි බවත්, එම නිසා රජයේ ආදායම් පියවා ගැනීම සඳහා දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් ක්‍රමවත් කිරීමෙන් රජයට ආදායම් උපයා දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

සුරාබදු බලපත්‍රයක් ලබාදීමේදී අදාළ ප්‍රදේශයේ මහ නගර සභාව, පළාත් පාලන ආයතනය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය ඇතුළු අනුමැතිය ලබාගත යුතු සියලුම ආයතනවලින් අනුමැතිය ලබාගෙන මුදල් අමාත්‍යාංශයට යොමු කර බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් ඒ මහතා කීය.

මහ නගර සභා බල ප්‍රදේශයක් තුළ නව බලපත්‍රයක් ලබාදීමේ දී රුපියල් කෝටි 1 1/2ක් ද, නගර සභා සීමාව තුළ එය රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ද, ප්‍රාදේශීය සභා සීමාව තුළ රුපියල් කෝටියක් ද අය කරන බව ඒ මහතා පැවැසීය.

ඒවාට අමතරව වාර්ෂික බලපත්‍ර ගාස්තු ඇතුළු වෙනත් අයකිරීම් සිදුකරන බව ද ඒ මහතා කීය.

මේ වනවිට නිකුත් කර ඇති බලපත්‍ර කිසිදු දේශපාලනඥයකුට ලබා දී නැති බවත්, මෙතෙක් අක්‍රමවත්ව පවතින බලපත්‍ර ක්‍රමය විධිමත්ව සකස් කිරීම සඳහා නව බලපත්‍ර ලබාදීම් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

මේ වසර තුළ රජයට මිලියන 2000ක් අයකර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.