ජාතික පාසල් වල ගුරු හිඟයට දුන් උපාධි ගුරු පත්වීම් 462 ක් භාරගෙන නෑ – අධ්‍යාපන ඇමැති

ජාතික පාසල් වල ගුරු හිඟයට දුන් උපාධි ගුරු පත්වීම් 462 ක් භාරගෙන නෑ – අධ්‍යාපන ඇමැති

ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700 න් 462 ක් භාරගෙන නොමැති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

ජාතික පාසල්වල ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 1700 කට දුන් ගුරු පත්වීම් වලින් 462 දෙනකු පත්වීම් ලබාගෙන නොමැති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මීට සති දෙකකට පමණ පෙර පත්වීම් ලබාදීම සිදු කර දින 14 කින් පසුව පත්වීම් භාර ගත් පිරිස ගැන සොයා බැලීමේ දී පත්වීම් නොගත් 462 ක් වාර්තා වූ බව ඇමැතිවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටි අතර රැකියා නොමැති පිරිසට ලබාදුන් පත්වීම් බාර නොගැනීම පුදුමයට කරුණක් බවත් මෙම පත්වීම් උපාධිධාරී දෙවැනි ශ්‍රේණියට ලබාදුන් පත්වීම් බවත් පැවසීය.

වවුනියාව මඩුකන්ද සහ උහන ජාතික පාසල ඇතුළු දුෂ්කර පළාත්වල ජාතික පාසල් වලට ලබාදුන් පත්වීම් භාරගෙන නොමැති බවත් එය පුදුම ගැටලුවක් බවත් පැවසූ ඇමැතිවරයා මේ දුෂ්කර ප්‍රදේශවලින් විද්‍යා උපාධිධාරීන් බිහි නොවන බවත් එම නිසා වෙනත් ප්‍රදේශ වලින් බිහිවන උපාධිධාරීන් එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතුවලට යොමු කිරීම හැර විකල්පයක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

උපාධියක් ගත් පමණින් ඕනෑම අයකුට ගුරු වෘත්තියට ඇතුළත් වීමට අවස්ථාවක් නොමැති බවත් පාසල් තුළ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.