විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ අවසන් තීරණයට දින නියම කෙරේ

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ අවසන් තීරණයට දින නියම කෙරේ

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසා සිටියේ පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් මේ සඳහා අදහස් ලබාගත් බවයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%ක්.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතන වලට 3%ක අඩුවීමක් සිදුවනු ඇති.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැහැ.

යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කිරිමට යෝජනා වි තිබෙනවා.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබෙන අතර විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබෙන බව සඳහන්.

ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවනු ඇති.

ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබෙනවා.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරෙනු ඇති.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවට වාර්තා වනවා.