මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව මියගිය පාසල් දැරියකගේ සිරුරක් හමුවෙයි

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව මියගිය පාසල් දැරියකගේ සිරුරක් හමුවෙයි

නිවිතිගල පොලිස් වසමේ වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් සිටි පාසල් දැරියකගේ සිරුරක් ඊයේ (08) හමුවී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේම පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියකි.

දැරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට තිබේ.

ඒ හේතුවෙන් දැරියට වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි නිවිතිගල පොලීසිය පවසයි.

ඇයගේ පැමිණිම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරියගේ සිරුර හමුවී තිබේ.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් දැනට සැකකරුනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.