ප්‍රකට පරිපාලන නිලධාරියෙකු වන ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට පරිපාලන නිලධාරියෙකු වන ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රකට පරිපාලන නිලධාරියෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූවා සේම උතුරු-නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද දරනු ලැබූ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ප්‍රවීණ කලාකාරිණියක වන සෝමලතා සුබසිංහ මහත්මියගේ ස්වාමියා වූ ලයනල් ප්‍රනාන්දු ප්‍රවීණ නිළි කෞශල්‍යා ප්‍රනාන්දුගේ පියණන් ද වනවා.

ලයනල් ප්‍රනාන්දු මහතා විශිෂ්ඨ රංගන ශිල්පියෙකුද වන අතර, මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමා පටවල රඟපෑ ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයනගේ සුප්‍රකට මනමේ මුල්ම නිෂ්පාදනයේ වැදි දෙටු ලෙසද රංගනයෙන් දායක වුනා.

උතුරු-නැගෙනහිර ගැටුම් ආරම්භ වීමේ මුල් කාලයේ යාපනයේ දිසාපති ලෙස කටයුතු කළ ලයනල් ප්‍රනාන්දු මහතාගේ විචක්ෂණ භාවය අදටත් ප්‍රකටව ඇති කරුණක්.

පරිපාලන සේවයේ ද උතුර-නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසින් ද මානව හිමිකම් කොමිසමේ සමාජිකයෙකු ලෙසින් මෙන් ම වෙනත් තනතුරු ගණනාවක්ද දැරූ ඔහුගේ භාවිතය කෘති හරහා පවා කතාබහට ලක් වුණා.

ලයනල් ප්‍රනාන්දු මහතා මිය යන විට 88 වැනි වියේ පසු වුණා.