පියුමිට අයත් BMW මෝටර් රථයක් මත් ජාවාරම් කරුවෙකුගේ නිවසින් හමුවෙයි
රුපියල් කෝටි 6කට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මඟින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවෙසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමට ලියාපදිංචි කරන ලද බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් හමු වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මේ වසර මුලදී කුෂ් මත්ද්‍රව්‍ය කි.ග්රෑ. 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ග්රෑ. 500ක් කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මඟින් ගෙන්වාගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.
මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති (පො.ප) පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ (උ.පො.ප) සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මේ වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවෙසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවෙසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.
රුපියල් කෝටි ගණනාවක් ඉපයූ බවට චෝදනා එල්ල වූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නමට ලියාපදිංචි වූ මෝටර් රථය සම්බන්ධයෙන්ද සැකකරු පරිහරණය කරන දුරකතන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ගෙන ඒ ඔස්සේද පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමටද, 44 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමටද නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති (පො.ප) පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් දුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) සිරිවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.