පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට යද්දී මිනියට පණ ඇවිත්

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට යද්දී මිනියට පණ ඇවිත්

මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇති බවට එම ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් 17 වන දා මදුරන්කුලිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකදී පොලීසිය විසින් මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හදුනාගෙන ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර ඇත.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙකි.

මෙම සභාපතිවරයාට හිමි මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු දීර්ඝ කාලයක සිට සේවය කර ඇති අතර ඉකුත් 17වන දා මෙම මුරකරු ඔහු සිටින මුරමඩුව තුළම මරණයට පත්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෘතශරීරයට මැස්සෝ වසා ඇති බවත් මෙම මරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් සැක නැති බවත් පැමිණිලිකරු එහිදී පවසා ඇත.

මෙහිදී පොලිස්ථානාධිපතිවරයා විසින් හිටපු සභාපතිවරයාට පවසා ඇත්තේ, මෙය අභිරහස් මරණයක් බවත් මෘත ශරීරය සම්බන්ධයෙන් විධිමත් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

තවද මරණයේ අවසන් කටයුතු සහ මරණකරුගේ ඥාතීන් පිළිබඳව සිදුකල විමසීමකදී ඉඩම් අයිතිකරු විසින් ප්‍රකාශ කර ඇත්තේ, ඥාතීන් පිළිබඳව වැඩිමනක් විස්තර නොදන්නා බවත් අවසන් කටයුතු රජයේ මැදිහත් වීමෙන් සහ එම මුදලින් සිදුකරන බවයි.

අනතුරුව ස්ථානාධිපතිවරයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයාට මෙම සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් යොදවා මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ප්‍රථම සථානීය පරීක්ෂණයක් සිදු කරඇත.

මෙම ස්ථානීය පරීක්ෂණයේදී මරණයට පත්ව ඇතැයි පැවසූ පුද්ගලයාට ජීවයක් ඇති බව එක් පොලිස් නිළධාරියෙකු විසින් හදුනාගන ඇත.

ඒ අනුව, සිහිසුන් නොමැතිව මුරමඩුව තුළ වැටීසිටි මුරකරු පොලීසිය විසින් වහා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

ඔහුගේ තත්වය බරපතල නොවන බවත් මෙම පුද්ගලයා සිහිනැතිව වැටී ඇත්තේ නිරාහාරව සිටීමෙන් හාමත් බවින් හෝ රෝගාතුර තත්වයකින් බවත් අනාවරණය වී තිබේ.

මෙම වැරදි පැමිණිල්ල පිළිබඳව ගන්නා වු නීතිමය පියවර පිළිබඳව සිදුකළ විමසීමකදී පොලිස්ථානාධිපතිවරයා පවසා සිටියේ රෝගියා සම්බන්ධයෙන් ඇතිවන අනතුරුදායක තත්වය හමුවේ පසුව තීරණයක් ගන්නා බවයි.

පුත්තලම කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒච්. කේ. රූපසිංහ සහ සහකාර පොලිස් අධිකාරී ඩබ්. එෆ්. සී. සී. රුද්‍රිගෝ යන නිළධාරීන්ගේ උපදෙස්මත මදුරන්කුලිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීය.