පොල් ගෙඩියක් හිසට වැටී දැරියක් ජීවිතක්ෂයට

පොල් ගෙඩියක් හිසට වැටී දැරියක් ජීවිතක්ෂයට

ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ අතේ සිටි මාස 11 ක් වයසැති දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමති දැරියයි.

පියා විසින් දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ උස පොල් ගසක තිබුණු වේළුණු පොල් ගෙඩියක් ඇගේ හිසට වැටී තිබේ.

පසුව දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඇගේ තත්ත්වය බරපතල බැවින් දෙල්තොට ප්‍රාදේශීය රෝහලින් දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ. එහිදී දැරිය මියගොස් තිබේ.

ඔවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවෙකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලි අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව ද හෙළි වී තිබේ.