නලින් බණ්ඩාරගේ ජීප් රියේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ දින (11) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශානුක රවිඳු තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බව පැවසේ.
මෙම අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ මෙම තරුණයාගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ ඔහුගේ වකුගඩු අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබේ.
ඒ අනුව මෙම තරුණයාගේ අවයව ඊයේ රාත්‍රී කාලය වන විට ඉවත්කර ජීවිත තුනක් ජීවත්කරවීමට බද්ධකිරීම් සිදුකර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙම තරුණයා අනතුරට ලක්වන්නේ පසුගිය 03දා අලුයම් කාලයේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී ය.
මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිය පැදවූ තරුණයා පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබුණි.
එම අනතුරින් මෙම තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අනතුර සිදුවූ මොහොතේ සිට ඔහු සිට ඇත්තේ සිහිසුන්වය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශය තුළ වැසි සහිත තත්ත්වයක් තිබී ඇත.
අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මහතා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තේය.
ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝගකරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිය බවයි නිට්ටඹුව පොලිසිය සඳහන් කළේ.