ඊළඟ සනත් නිශාන්තට මොකද කරන්නේ?
මෙරට දේශපාලනයේ “සනත් නිශාන්ත පරිච්ඡේදය” ඊයේ (28) දිනයෙන් අවසන් විය.
පසුගිය දින කිහිපය තුළම ලංකාවේ ප්‍රධාන මාධ්‍යවල සිට සමාජ මාධ්‍ය දක්වා සියලු තැන්හි ‘හොට් ටොපික්’ එක වීම නිසාම අපි තරමක් නිහඬව සිටියෙමු. රැල්ලට සනත් නිශාන්ත ගැන කතා කරනවාට වඩා මේ රහස් කවුළුවෙන් ඕවා දෙස බලා සිටින එක දේශපාලනික විනෝදයක් සැපයීය. එහෙත් සියල්ලට පසු සනත් නිශාන්ත ගැනත්, ඒ දම්වැලේ මෙතනින් එහාට පුරුක් ගැනත් දැන් කතා කළ යුතුව තිබේ.
මෙරට අප දන්නා ඉතිහාසයේ මෙතෙක් මරණයක් අසීමිතව සහ ඉතා බරපතළ ලෙස ‘ට්‍රොල්’ වූ පළමු සහ එකම අවස්ථාව සනත් නිශාන්තගේ මරණය විය හැකිය. ෆේස්බුක් වේවා, ට්විටර් වේවා, යූටියුබ් වේවා සියලුම සමාජ මාධ්‍ය තුළ ඔහුගේ මරණය විහිළුවක් වන තැනට වැඩ සිද්ධ වී තිබිණි. විශේෂයෙන්ම ඔහු මීට පෙර අරගලයේ සිටි සාමාජිකයන් දෙදෙනෙකුගේ අකල් මරණ සම්බන්ධයෙන් පළ කළ සෝපහාස පෝස්ට් දෙකක් ඊට හේතු වී තිබිණි. ඊට අමතරව සමාජ මාධ්‍ය භාෂාව අනුව ඔහු ‘ඩයිහාඩ් බයියෙක්’ නොහොත් ‘තැරිදාර බයියෙක්’ යනුවෙන් ලැයිස්තුගත වී තිබීම තවත් හේතුවක් විය. විශේෂයෙන් සනත් නිශාන්ත මියගිය දා ෆේස්බුක් නිව්ස් ෆීඩ් පිරීගොස් තිබුණේ ඔහුගේ මරණය පිළිබඳ සෝපහාස පෝස්ට්වලිනි. එදා සවස් වනවිට පොහොට්ටුවට සම්බන්ධ ඇතැම් ෆේස්බුක් පිටු සහ පාර්ශ්ව එම තත්ත්වය පාලනය කිරීම සඳහා ‘ඇන්ටි කැම්පේන්’ එකක් පටන්ගෙන තිබුණද එය ප්‍රමාණවත් නොවීය.
එහෙත් නෙළුම් කුලුනේ අපේ රහස් කවුළුවට ඊට වඩා දෙයක් පෙනී ගියේය. ඒක මීට වඩා ටිකක් බරපතළය. තරුණයන් හෝ ජනතාව අතර සනත් නිශාන්ත ට්‍රොල් වීම ගැන පුදුමයක් නැත. අපට ඒ ගැන දුකක් ද නැත. හැබැයි එහෙමය කියා අපට ඒ ගැන අමුතු සතුටක්ද නැත? ඒ වෙනුවට අප කළේ ඒ දෙස ඕලාරිකව බලා සිටීම පමණි. ඇත්තෙන්ම සනත් නිශාන්තලා විසින් මානසිකව පීඩාවට පත් කරන ලද තරුණ පරම්පරාව තමන්ට හැකි ආකාරයෙන්, ලද අවස්ථාවේ වාඩුව ගැනීම ගැන හොඳක් හෝ නරකක් කියන්නට අපට බැරිය. එහෙත් ඒ ට්‍රොල් කිරීම ඔච්චර දුර අරන් නොගියා නම් හොඳය.
මන්ද යත්, මේ සෙල්ලම සනත් නිශාන්තගෙන් අවසන් වන්නේ නැත. සනත් නිශාන්ත යනු පුද්ගලයෙකු පමණි. ඔහුගේ හැසිරීම හෝ පැවැත්ම නිරූපණය කළේ යම්කිසි කුලකයකි. එනිසා අප අවධානය යොමු කළ යුත්තේ අන්න ඒ කුලකය සහ ඔවුන් පෝෂණය කරන මතවාදය පිළිබඳවය. සනත්ගේ පුටුව හිස්වෙද්දී වෙනත් නමකින් තවත් සනත් නිශාන්ත කෙනෙක් ඒ පුටුවෙ වාඩි නොවනු ඇතැයි අපට අනාවැකි කියන්නට බැරිය. මන්ද යත්, ප්‍රසන්න රණතුංග, තිස්ස කුට්ටිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සම්පත් අතුකෝරල, මහින්දානන්ද අලුත්ගමගේ වැන්නවුන් සනත් නිශාන්තලා නියෝජනය කළ මතවාදයට තවමත් ‘ඔක්සිජන්’ සපයමින් සිටිති. ඉතින් තවත් සනත් නිශාන්තලා ඒ ඔස්සේ බිහි නොවනු ඇතැයි නම් කාට කිව හැකිද?
එනිසා අප කළ යුතුව ඇත්තේ සනත් නිශාන්තලා මැරුණාම හුරේ දමා රතිඤ්ඤා පත්තු කිරීම නොවේ. ඒ ජාතියේ පුද්ගලයන්ට ෆේස්බුක් එකේ ඔන්ලයින් නිවන් සුව පැතීම නොවේ. ඒ වෙනුවට අප කළ යුතුව ඇත්තේ ඔවුන් පෝෂණය කරන මතවාදය විනාශ කිරීම ය. එසේ නොකරන තාක් සනත් නිශාන්තලා විවිධ වේශයන්ගෙන් අප ඉදිරියට එනු ඇත. ඒ සනත් නිශාන්තලා මේ සනත් නිශාන්ත නැවැත්වූ තැනින් අල්ලාගෙන ඉදිරියට යනු ඇත. එවිට ඔවුන් නවත්වන්නේ කෙලෙසකද? එය ෆේස්බුක් ට්‍රොල් කිරීම්වලින් කළ හැක්කක් නොවේ. ඒ අනුව අප තේරුම්ගත යුත්තේ සනත්ලා කීයක් බිහිවුණද, ඔවුන් විනාශ කිරීම පිළිතුරක් නොවන බවයි. ඔවුන් නියෝජනය කරන මතවාදය විනාශ කිරීමෙන් පමණක්ම මේ ඛේදවාචකය අවසන් කළ හැකි බවයි. එහෙත් අවධාරණය කරගත යුතු වැදගත් කාරණාවක් තිබේ. එනම්, ඔය කියන කාර්යය කීබෝඩ් එක උඩ නැගගෙන සිටීමෙන් පමණක් සිදු කරගත නොහැකි බවයි.
කොත්මලේ රංග