හෙටත් තද වැසි

හෙටත් තද වැසි

උතුර, උතුරු මැද පළාත් වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි හෙට (30) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාල දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි හෙට ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අහස අද දිනයේ වලාකුලින් බරව පවතින බව ද කියන එම දෙපාර්තමේන්තුව උතුරු පලාතේ දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තව දුරටත් පවතින බව ද සඳහන් කරයි.

උතුරු, උතුරුමැද, වයඹ, නැහගනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 60 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන් අවපාතය අද පෙරවරු 5.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 260 ක් පමණ ඊසාන් දෙසින් සහ කන්කසන්තුරයේ සිට කිලෝමීටර 305 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවත් එය වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළට දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.