ඉඩම් වංචා සිද්ධියකට අත්අඩංගුවට ගන්න යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලා ගිහින්

ඉඩම් වංචා සිද්ධියකට අත්අඩංගුවට ගන්න යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලා ගිහින්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණි.

එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවෙසේ සිට ඇති අතර එහිදී බිරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් රහස් පොලිසිය අනතුරුව රණවීර මහතාගේ රියැදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පැවැසේ.

රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාලව කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතීඥයකු ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවද උසස් නිලධාරියා කීය.

මේවන විට රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රසන්න රණවීර මහතා සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කර ඇති බව ඔවුහු කියති.

2010 වර්ෂයේ මෙම අපරාධය සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර තිබුණි.

රජයේ ඉඩමක් හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වසර කීපයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මූල්‍ය හා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.