තිහාරියේ ටයිල් වෙළඳසැලක ගින්නක්

තිහාරියේ ටයිල් වෙළඳසැලක ගින්නක්

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ තිහාරියේ පිහිටි නාන කාමර උපාංග සහ ටයිල් අලෙවි කිරීමේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (07) දහවල් ඇති වූ ගින්නකින් එම ව්‍යාපාරික ස්ථානයට බරපතල ලෙස හානි පැමිණ ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

දහවල් 1.00 ට පමණ නාන කාමර උපකරණ සහ ටයිල් අලෙවිය සිදුකරන දෙමහල් ව්‍යාපාරික ආයතනයේ මෙම ගින්න හටගෙන ඇත.

වෙළඳසැලේ පිටුපසින් මෙම ගින්න ආරම්භ වී ඇති අතර ගිනිගන්නා අවස්ථාවේදී වෙළඳ සැල වසා තිබී ඇත.

ගින්නෙන් එම ටයිල් වෙළඳසැලේ නාන කාමර කට්ටලවලට සහ ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදු ඇති බව පොලිසිය පවසයි.

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ රෙදි පිලි ගබඩාවක් ඇති අතර එම ගබඩාවට සුළු අලාභ හානි සිදුවී ඇත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නාගරික ගිනි නිවන හමුදාවේ රථ දෙකක් යොදවා තිබූ බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.