ඩාර්ලි පාරෙන් පෙනෙන නාකි නිරුවත සහ චම්පික කියන කතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගින්නක් හටගෙන තිබෙන බව දැන් දැන් නිතර නිතර සිද්ධ වෙන දේවල් වලින් පෙනෙන්නට පටන්ගෙන තිබේ.
මේ රහස් කවුළුවට ඩාර්ලි පාර කෙලින්ම පෙනෙනා හෙයින් ඔය මීඩියාවල යන ඒවාට වඩා ආතල් එහේ සිද්ධ වෙන බව අපි අත්දැකීමෙන්ම දකිමු.
ඒත් ඒ අර්බුද වලින් රටේ ජනතාවට ඇති සෙතක් නැති හෙයින් මේ තීරුවේ ඒ ගොං පාට් ගැන ලියන්නට වචන නාස්ති කරන්නට අපට අදහසක් නැත. ඒ වෙනුවට ඒ යට ඇති කැත ඛේදවාචකය සහ වෙනත් කතා කිහිපයක් ලියන්නට සිත් විය.
මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවේ ඇමතිකම් දරන කිහිප දෙනෙකුගේ පක්ෂයේ දැරූ තනතුරු අහිමි කරන්නට පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේය.
ඒ මීඩියා වලට කියූ කතාවය. ඒත් ඇත්තටම සිද්ධ වී තිබුණේ රටට පේන්නට ඔළුගෙඩි මාරු කිරීම පමණි. තනතුරු වලින් ඉවත් කළ අයට වෙනත් තනතුරු ලබා දී වගකීම්ද පවරා තිබූ අතර, රට තුළ ඇති වී තිබූ සංවාදයට පැලැස්තරයක් ලෙස පමණක් අර සංදර්ශනය සිදු කර තිබිණි.
ඒ අතරේ දයාසිරිට ආයෙත් පක්ෂයට එන්නැයි ඉල්ලා තිබූ අතර, ඔහු ඒ වෙනුවෙන් මහලේකම්කම ඉල්ලා තිබිණි. පක්ෂය එය ලබා නොදී කේවල් කරන අතර, දයාසිරි මස් රාත්තලම ඉල්ලා සිටියි.
ඩාර්ලි පාරේ වෙන සන්තෑසි ඔහොමය. අපට මේ දවස් වල බලන්නට මැච් එකක්වත් නැති හෙයින් පොප්කෝන් කකා ඩාර්ලි පාර දිහා බලාගෙන ඉන්නා එක ආතල්ය.
නමුත් ඔය කාරණාව ගැන කතා කිරීමේදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණාව එය නොවේ. ඔය ඔළුගෙඩි මාරු, කේවල් කිරීම්, දාම් ඇදීම්, කණාමුට්ටි බිඳීම් ආදී දේවල් කරන බොහෝ දෙනා නාකි පප්පලා වීමයි.
පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීවරුන් බොහෝමයකගේ වයස දැන් 60 පැනලාය. 60 නම් කමක් නැත, 80ත් පැනපු නාකි උන්දැලා කිහිප දෙනෙක්ද පාර්ලිමේන්තුවේ සිටිති. ඔවුන්ගෙන් රටට වැඩකුත් නැත, ඔවුන්ට වැඩකුත් නැත, ඒ බොහෝ අය පාර්ලිමේන්තු එන්නේත් නැත.
ඒ නිසා ඔවුන් සිටින්නේ මොකටදැයි ඔවුන්වත් දන්නේ නැත. එවැනි වාතාවරණයක ඩාර්ලි පාරේද එවැනිම උන්දලා සෙට් එකක් තමන්ගේ පුටුව වෙනුවෙන් සීතල යුද්ධවල පැටළී සිටිති.
ඩාර්ලි පාරේය අනිත් තැන්වලය කියා වෙනසක්ද නැත. ඔය බොහෝ තැන්වල නාකි පප්පලා ඔහොමය. හැබැයි ඔය සේරම ඡන්ද කාලයට එන්නේ තරුණයන්ට රටක් හදන්නට ය.
තරුණයන්ට මුදු මාල බ්‍රේස්ලට් දෙනවා යැයි කියූ නායකයෙක් අද රටේ ජනාධිපතිය. හැකියාවට රැකියාවක් දෙන්න ආ නායකයා ජනේලේ එල්ලූ පසු දැන් හැමතැනම කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කියමින් වැළපෙමින් යන්නේය.
ඒ වුණාට තාමත් තරුණයන්ට සිද්ධ වූ සෙතක් නැත. අපට පේන එකම දේ නම් පාකිස්තානයෙන් ඉන්දියාවෙන් බොම්බයි ලූනු ගෙනෙන්නාක් මෙන් අපේ තරුණයන් පොදිය පිටින් ඊශ්‍රායල්, කොරියා වගේ රටවල් වලට පටවනවාය. තරුණයන් වෙනුවෙන් අපේ නායකයන් කරන කෙරුවාව ඔච්චරය.
මේ ගැන කල්පනාවට ආව් මේ ඊයේ පෙරේදා පාඨලී චම්පික රණවක බත්තරමුල්ලේදී කියපු කතාවක් ෆේස්බුක් එකේ ඇස ගැටුණාට පසුය.
ඔහු එහීදි යස කතාවක් කීවේය. වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් බවත්, එහෙත් අවුරුදු 60 – 90ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔහු කියයි.
තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද ඔහු එම වීඩියෝවේ කියයි.
සිය පක්ෂයේ තරුණ සමුළුවක් අමතමින් මේ කතාව කියන චමපික තවදුරටත් කියන්නේ එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සලසන බවයි.
කතාවත් විදිහට ගත්තාම ඒක මරු ය. ඒත් පාඨලීට බලය ලැබුණත් මේ හම්පඩ සිස්ටම් එක ඇතුළේ ඔහුට එය කරන්නට හැකිවනු ඇත්දැයි හෝ ඔහු එය කරනු ඇත්දැයි අපි දන්නේ නැත.
හැබැයි ඔය කොයි කාටත් බලය දී බැලූ එකේ පාඨලීටත් දීලා බැලුවා නම් හොඳය කියා මට නිකමට හිතෙන්නේය. කළොත් පාඨලීට ජනතාව අතර නියම පාලකයෙක් ලෙස රැඳෙන්නට හැකිවනු ඇත.
නැත්නම් අර කයිවාරු නන්දසේනගේ ඊළඟ කෑල්ල වෙන්නටද පුළුවන. ඒ කොහොම වුණත් නොදී ඉන්නවාට වඩා පාඨලීටත් දීලා බලනවා නම් හොඳය.
අඩුම තරමේ මෙහෙම ප්රගතිශීලී සහ ප්‍රායෝගික කතාවක් කියන මේ මොහොතේ ඉන්න එකම දේශපාලනඥයාද චම්පික පමණ ය.
අපේ පැත්තෙන් ගත්තාම රටක් වශයෙන් අපට තවත් කෙලවෙන්නට දෙයක් නැති නිසා අමුතුවෙන් නැති වෙන්නට යමක් නැත. හැබැයි චම්පික දැනෙන යමක් කළොත් ඒක බෝනස්ය.
ඒත් ඉතිං ඔය ඩාර්ලි පාර, අංක 30, සිරිකොත, නෙළුම් මාවත වගේ තැන්වල නාකි පප්පලාගේ කුමන්ත්‍රණ පරද්දන එක රට මුල ඉඳන් හදනවාට වඩා අමාරුය.
ඒ නිසා මේවා ගැන හිතලා විතරක් ඉන්න වෙන සම්භාවිතාව වැඩි නිසා ලොකුවට නොහිතා, අතේ තියෙන සොච්චමෙන් අවුරුද්දට ෂොපිං කරන්න යන එක ඊට වඩා සැනසිලිදායක ය.
– කොත්මලේ රංග –