
මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබෙන බවත්, ජනතාව බයෙන් ජීවත් වන බවත්, පවසමින් ආණ්ඩුව ඉල්ලා අස් වී වෙනත් පාර්ශවයකට රට භාරදිය යුතු බවට පසුගිය කාලය පුරාවට ඇතැම් දේශපාලඥයින් මත පළ කළ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.
“තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ.” යනුවෙන්ද ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.