ජීප් රිය ඔයට පෙරළී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් මරුට

ජීප් රිය ඔයට පෙරළී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් මරුට

කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොල, බුජ්ගමුව පාලමෙන් සුඛෝපභෝගී ජීප් රථයක් ඔයට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද (23) අලුයම සිදුව ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ.

සිදු වූ අනතුරින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජිප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුළ සිර වී සිටි තරුණයින් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදු කරනු ලැබූ පරීක්ෂණ අනුවයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.