පෘථිවියට හෙට සිට අලුත් සඳක්

පෘථිවියට හෙට සිට අලුත් සඳක්

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයන් පවසයි.

මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රාහකයකි.

විද්‍යාඥයන් මෙම ග්‍රාහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි. විද්‍යාඥයන් මෙම ග්‍රාහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. ග්‍රාහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් තිබේ.

ග්‍රාහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරන අතර සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම විශේෂ කාරණයක් නොවන අතර දැවැන්ත ග්‍රාහක බොහොමයක් පෘථිවිය පසු කර යයි.

ඇතැම් කුඩා ග්‍රාහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි.

මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත. එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී.

පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් හෙට (සැප්තැම්බර් 29 වැනිදා සිට), ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවැසෙයි.